Friday, May 4, 2012

ශ්‍රද්ධාව හා ප්‍රඥාව මතුගම මහින්ද හිමියන්ගේ බසින්


පානදුර රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය මතුගම මහින්ද හිමි විසින් ශ්‍රද්ධාව හා ප්‍රඥාව විස්තර කරන අයුරු බලන්න මෙසේ.

ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන මතවාද බොහොමයක් ඉදිරිපත් වී තිබුණේ භක්තිවාදය පදනම් කර ගෙන බව පෙනේ. භක්තිය යනු යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් හෝ දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් විශ්වාසයේ තබා ඇදහීමයි. මේ කාලය වන විට අප මහා බෝසතාණෝ තුසිත දෙව්ලොව සන්තුසිත දෙව් රජව වැඩ සිටි බව සඳහන් වේ. එතුමන්ට ජම්බුද්දීපයේ උපත ලැබීමට කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස් මහා බැලුම් බලා ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුට හා මහාමායා දේවියට දාව වෙසක් පුණු පොහෝදා ලුම්බිණි නම් සල් උයනක බෝසත් කුමරු නමින් උපත ලැබීය .
මෙපින්වත් කුමරු ලෝකයට අර්ථයක් සිදු කරන බව දත් පේනකරුවන් සිදුහත් හෙවත් සිද්ධාර්ථ යන නම තැබීය. සියලු ශිල්ප හැදෑරූ සිදුහත් කුමරු සොළොස්වන වියේදී යසෝධරා නම් දේවිය සමඟ විවාහ පත්ව අවුරුදු 13ක් ගිහි සැප විඳ අවුරුදු 29 දී ගිහි සැප හැර මහා අභිනිෂ්ක්‍රමණය කළහ. පසුව පැවැදි වෙස් ගත් බෝසත් තවුසාණෝ පරම සත්‍ය සෙවීමට අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට නිවනට මඟ එය නොවන බව දැන ශරීරයට සැප දුන්හ. දුක සැප දෙක නිවනට බාධා ගෙන දෙන බව දත් බෝසත් තවුසාණෝ සමබර දිවියක් පවත්වාගෙන යමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් (මැදුම් පිළිවෙතින්) සම්මා සම්බුද්ධත්වයට පත් වූහ.
අප එදිනදා ජීවිතයේදී බුද්ධ චරිතය හඳුනා නොගෙන විවිධ නාමයන්ගෙන් බුදුරජාණන් වහන්ස්ට ආමන්ත්‍රණය කරයි. සන්තුසිත දෙව් රජ බෝසත් කුමරු නමින් ද, බෝසත් කුමරු සිදුහත් කුමරු නමින් ද, සිදුහත් කුමරු බෝසත් තවුසා නමින් ද බෝසත් තවුසෝ බුදුරජාණන් වහන්සේ නමින් ද විවිධ චරිත නිරූපණය කළ අතර, මෙයින් ශ්‍රේෂ්ඨතම චරිතය බුද්ධ චරිතයයි.
බුදුබව ලැබූ බෝසත් තවුසෝ ලොවට හඳුන්වාදුන් බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් හි සූවිසි ගුණ සමුදාය හරියට අවබෝධ කරගත් තැනැත්තා නියම ශ්‍රද්ධා වන්තයාය. මෙම ලිපිය සමාරම්භයේදී සඳහන් කළ භක්තිය ශ්‍රද්ධාවට වඩා වෙනස් ය. භක්තිය අදෘෂ්‍යමාන බලවේග කෙරෙත් ශ්‍රද්ධාව තුණුරුවන් කෙරෙත් බැඳී ඇති බව ඔබට පසක් කර ගැනීමට අපහසු නොවනු ඇත.
බුදු දහම හඳුන්වාදෙන නිවන ආරම්භ වන්නේ ශීලයෙන් නොව ශ්‍රද්ධාවෙනි. ශ්‍රද්ධාව නැති තැනැත්තා තුණුරුවන් විශ්වාස නොකරයි. ශ්‍රද්ධාව ඇතොත් ඔහු සීලවන්තයෙක් වනු නොඅනුමානයි. බුදුදහමට පමණක් උරුම වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. එනම් ශ්‍රද්ධාව, ශීලය, චාගය, සමාධිය (භාවනාව) හා ප්‍රඥාවයි. ශ්‍රද්ධාවන්තයා හැමවිටම ශීල වන්තයෙකි. බෞද්ධයා ආරක්ෂා කරන ශීලය පන්සිල්, අටසිල්, දසසිල්, ආජීව අට්ඨමක සිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල් පමණක් නොව විනය පිටකයේ භික්ඛුඛන්ධකයේ විනය නීති 227 ක් ද, භික්ඛුණි ඛන්ධකයේ විනය නීති 223 ක් ද නිර්දේශ කරයි.
එවැනි ශිලයක් ලෝකයේ කිසිම දහමක් දර්ශනයක් ඉදිරිපත් නොකරයි. එසේම ශීලයේ පිහිටි බෞද්ධයා මීළඟට චාගය හෙවත් පරිත්‍යාගය පුරුදු කරයි. චාගය යනු දානයයි. බුදුදහම දානය විග්‍රහකර ඇත්තේ මානවයාගේ තණ්හාව නැති කොට නිවනට මග පෙන්වන ආකාරයටයි. බෝසතාණන් වහන්සේ කල්ප ගණනක් සංසාරයේ සැරි සරමින් දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා පුරුදු පුහුණු කළේ බුදු බවට මාර්ගය එයම වන නිසාය. මෙවැනි දානාධ්‍යාශයක් කිසිම ආගමක, දර්ශනයක දක්නට නොලැබේ.
දානය පුරුදු පුහුණු කරන බෞද්ධයා මීළගට පුරුදු පුහුණු කරන්නේ සමාධිය හෙවත් භාවනාවයි. නිවැරදි භාවනාව ඇත්තේ ද බුදු දහමේ පමණි. බුදුදහම ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් හඳුන්වා දෙයි. එනම්,
1. සමථ භාවනාව
2. විදර්ශනා භාවනාව
සමථ භාවනාවට පාදක වූ කමටහන් 40 කි. එය වඩන තැනැත්තා සිත දියුණු කරයි. එසේ සිත දියුණු කරන තැනැත්තා මීළඟට පුරුදු පුහුණු කරන්නේ විදර්ශනා භාවනාවයි. මෙය බුදු දහම හඳුන්වන්නේ ප්‍රඥා භාවනාව යනුවෙනි. ප්‍රඥාව ඇත්තේ බුදු දහමේ පමණි. අප ප්‍රඥාවන්තයින් යයි කියන්නේ බුදු, පසේබුදු, මහා රහතුන් වහන්සේලාටයි. මෙහි සඳහන් ප්‍රඥව යනු කුමක්ද? ප්‍රශ්නයකි.
බුදුදහම ප්‍රඥාව යයි කියන්නේ සත්ත්ව ශරීරයේ ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන පංචස්කන්ධය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් දැකීමයි. එසේ දුටු උතුමෝ නම් බුදු, පසේබුදු, මහා රහතුන්මය. මේ අනුව නිවනට මඟ ආරම්භ කරන්නේ සීලයෙන් නොව ශ්‍රද්ධාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් පසක් කොට ගෙන මෙ දුක් ඇති සසරින් එතරව අපි නිවනට මඟ සලසා ගමු.


සටහන

0 comments:

Post a Comment