Tuesday, May 15, 2012

පින් පව් කරන අරුම පුදුම වැඩ

    ඔන්න අපිත් 2012 A/L අස්සේ තවත් පොස්ට් එකක් දාන්න කල්පනා කරලා දැම්මා මේක බලන්නකො.. මේක ලියන්න අපි ගොඩාක් කරුනු හොයාගත්තා බුදුසරණ පුවත්පතෙන්..
ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය    කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක්   ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික   පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන   සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම   සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින්   
ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක   ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන.


යම් කෙනකු මෙම කතා පුවත් ඉතා හොඳින් කියවා බැලුවහොත් පාප  ක්‍රියාවන්ගෙන් වෙන් වී පුණ්‍ය ක්‍රියාවල යෙදීමට අනිවාර්යයෙන්ම සිතට   ගනු ඇත. එමෙන්ම පව්කම්වල යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමනු ඇත. විවිධ   පාප කර්ම වලට අනුව විඳීමට සිදුවී ඇති වචනයෙන් විස්තර කළ නොහැකි, ඉතා   
අමිහිරි, අප්‍රසන්න, කඨෝර , කටුක දුක් වේදනා පිළිබඳ දැනගත් විට,   අවබෝධයක් තිබෙන කිසිවකු පාප කර්ම කිරීමට කැමැතිවේද යන්න සැක සහිතය.

මෙම ලිපිය මගින් අප දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන්නේ කතා කිහිපයක්  පමණක් උදාහරණ වශයෙන් දක්වමිනි. එහෙත් මෙම කතා වැඩි ප්‍රමාණයක් කියවා   ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු   විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා   කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ   
රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා  
දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ    එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත   හැකිවේ.

අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන්   පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත. ඒ බව   අප මෙහි දී දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවය. මේ වන විට කුඩා   දරුවන්ගේ සිත් සතන් හුදු විනීදාස්වාදයටම බර කරන කාටුන් වැඩසටහන් අප රටේ
   ඉතාමත් ජනපි‍්‍රයව පවතී. ඒවා තුළින් දරුවාට රට , දැය , සමය ආදිය පිළිබඳ    කිසිදු ආකාරයක හැඟීමක් හෝ අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ජාතික වීරවරුන්    ගැන කිසිදු තොරතුරක් හෝ අධ්‍යාපනයක් හෝ ලබා නොදෙයි. ඒවායින් දරුවාට   ලැබෙන කිසිදු දහම් දැනුමක්ද නැත. දරුවාගේ පෞරුෂ වර්ධයක් ඒ තුළින් සිදු   නොවේ. දැනට ශ්‍රී ලංකාවේ විකාශය වන සමහර කාටුන් පිටරටවලින් ආනයනය කරන   ඒවා වන අතර ඒවාට කෝටි ගණන් මුදල් යට කිරීමට සිදු බව වාර්තා වෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනි නාලිකාව වන, ගෞරවනීය   දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු   ලබන බෞද්ධයා නාලිකාව ඔස්සේ අප බෝධී සත්වයන් වහන්සේගේ චරිත කතා මුල්   කරගෙන ඉතා වටිනා කාටුන් වැඩසටහන් පුංචි දරුවන්ට නැරැඹීමට අවස්ථාව සලසා   දී තිබීම අප කවුරුත් අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ චිර ප්‍රසිද්ධ චිත්‍ර  
 කතා රචකයන් දෙපොළක වන සඳලංකාවේ සුමතිපාල හා ජෝතිපාල දෙසොහොයුරන් එකල   විකට හා ආදර කතා වැනි සාමාන්‍ය චිත්‍ර කතා රචනා කළත් දැන්, පූජනීය   කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බුද්ධ කාලීන   භාරතයේ සිදුවූ සත්‍ය සිද්ධී මුල්කොට ඉතාමත් වටිනා චිත්‍රකතා පෙළක්   නිර්මාණය කොට තිබේ. සෑම දරුවකුම කියවිය යුතු චරිත කතා පෙළක් ලෙස ඒවා 
හැඳින්විය හැකිය. බාහියදාරුචීරිය මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන්   වහන්සේ සහ සුමන සාමණේරයන් වහන්සේ වැනි උදාර චරිත මෙම කතා පෙළෙහි දක්නට   ලැබේ. කර්ම විපාක විඳීමට සිදුවන ආකාරය ආදිය එම කතා තුළින් විමසා දත   හැකිය.

දැන් අපි පේ‍්‍රත වස්තු පාලියේ දෙවැනි වර්ගය වන උබ්බරීවර්ගයෙ දෙවැනි   කතාව මඳක් විමසා බලමු. එහි නම් සාරිපුත්ත ථෙරස්ස මාතු පේත වත්ථු ‘   නම්වේ. එනම්, පෙර භවයක සාරිපුත්ත තෙරුණ්ගේ මව ගැන කියැවෙන පේ‍්‍රත   වස්තුවයි. කලින් භවයකදී සැරියුත් මහ රහතන් වහන්සේගේ මෑණී කෙනෙකුව සිටි   
තැනැත්තියක් තමන් විසින් කරන ලද පාප කර්ම මුල් කරගෙන පේ‍්‍රත ලෝකයේ   ඉපදුණි. ඇය සැරියුත් මහ රහතන් වහන්සේ බැහැ දකින්නට වූ පැමිණ තමන් විඳින   අනන්ත දුක් විස්තර කළාය. තමන් මහා බඩසයින් පෙළෙන බවත් ආහාර පිණිස   ගැනීමට සිදු වී ඇත්තේ කාරා විසි කරන කෙළ ,සොටු, සෙම, පිලිස්සෙන   
මළසිරුරුවලින් උතුරන වුරුණූ තෙල්, දරුවන් වදද්දී ගලන ලේ , තුවාලවලින්   වැගිරෙන ලේ, සැරව, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි සහ   සත්තුන්ගේ ලේ සැරව ආදිය බවත් ඇය විසින් පවසන ලදී. පිහිට පිළිසරණක් නැති   ඇය අමු සොහොනේ නිදාගන්නා බවත් පැවසුවාය. ඒ නිසා ඇය ඉල්ලා සිටියේ ලේ,   
සැරව අනුභව කරන ජීවිතයෙන් ගැලවීමට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙසයි.

ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන්   වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ   රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින   මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ   මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර   
වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය   සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන්   වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි.   ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන්   වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.

ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන   විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර   භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා   නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ   වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?

එමෙන්ම ‘මත්තා ‘ පේතවත්ථූවේද අපට ඉතාමත් වැදගත් වන , එමෙන්ම වර්තමාන   සමාජයටත් ඉතාමත් අත්‍යවශ්‍ය කතා ප්‍රවෘත්තියක් දක්නට ලැබේ. ‘තිස්සා ‘   සහ ‘මත්තා ‘ නම් වු බිරින්දෑවරුන් දෙදෙනකු අතරින් මත්තා නම් තැනැත්තිය   විවිධ අකුසල කර්ම කිරීම නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින   
ආකාරයත් පසුව පින් අනුමෝදන් වී ඒ තත්වයෙන් මිදුණූ ආකාරයත් දැක්වේ. ඇගේ   සිරුරේ නූල් පොටක්වත් නොතිබූ අතර කෙට්ටු, නහරවැල් පෑදුණූ, ඉලඇට ඉල්පී   ඇති සිරුරක් ඇයට හිමි විය. එයට හේතු වූයේ මිනිස් ලොව සිටිද්දි ඇය සතු   වු දුර්ගුණයන්ය. එනම් නපුරු බව, පරුෂ වචන කීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම   හා කෛරාටික වීමයි. එමෙන්ම ඇගේ මුළු සිරුර පුරාම පස් තැවරී තිබුණි. එයට   හේතුව තිස්සා නම් බිරිඳ නා පිරිසුදු වී ලස්සනට හැඳ ගෙන සිටින අවස්ථාවක   මත්තා කළේ ඊටත් වඩා අලංකාර වීමයි. ඉන්පසුව තිස්සා ස්වාමියාත් සමග කතා   කිරීම නුරුස්නා ලද මත්තා ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පස් අහුරකින්   තිස්සාට දමා ගැසීමේ පව මේ තත්ත්වයට පත්වීමට හේතුව විය. එමෙන්ම එකී   පේ‍්‍රතිය සිටියේ සිය ශරීරය පුරාම කසමිනි.එයට හේතු වූයේ මේ දෙදෙනා   කැලයට බෙහෙත් සොයා ගිය විටෙක තිස්සා බෙහෙත් ගෙනාවත් මත්තා කහඹිලියා   ගෙඩි ගෙනැවිත් ඒවා නිස්සාගේ ඇෙඳ් විසුරුවා දැමීමයි.

ඊළඟට ඇයට නිර්වස්ත්‍රයෙන් සිටීමට සිදු වූයේ තවත් එබඳුම අකුසල කර්මයක   පාක වශයෙනි. එකල යහළුවන් හා නැදැයන් එකතු වූ අවස්ථාවකට ආරාධනාව   ලැබුණේ. ස්වාමියාටත් තිස්සාටත්ය. ඒ අවස්ථාවේදි මත්තා \ස්සාගේ   වස්ත්‍රයක් සොරකම් කිරීම හේතුවෙන් මෙම කර්ම විපාකය ලැබුණි. එමෙන්ම ඒ   පේ‍්‍රතියගේ ශරීරයෙන් අසූචි ගඳක් හැමීය. එයට හේතුව වූයේ තිස්සා නම්   බිරිඳගේ සුවඳ වර්ග, මල් මාලා සහ වටිනා සුවඳ විලවුන් මත්තා විසින්   වැසිකිළි වළක දමනු ලැබීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ යමකු යම් අකුසල   කර්මයක් කළහොත් ඒවායේ විපාක මේ ආකාරයෙන් ලබා දෙන බවයි.

වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා     අකටයුතුකම් සිදු කරති.


ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම   ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.

පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත්   දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව   විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ   සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති   වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන්   පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන්   වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා   කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව   දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා 
තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය.   හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන   අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර   වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න.

ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීම තුළින්   මෙවැනි මහානුභාව සම්පන්න තත්ත්වයක් ඇතිවේනම් තවත් පින්කම් කරන්නේ නම්   ලැබෙන ආනිශංස ගැන කවර කතාද? එබැවින් අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ   ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ   කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට  
අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ 
 පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම   දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!

0 comments:

Post a Comment