Monday, May 28, 2012

මෙන්න ඔයාටත් Online ගබඩාවක්..

අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි පරිඝණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම. මේ ගැන මගේත් අවධානය යොමු වුනේ පසුගිය දවසක මගේ මිතුරෙකුට වුන ඇබැද්දියක් නිසා. පරිඝණකයේ  මෙහෙයුම් පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිතවීම නිසා එහි ගබඩා කර තිබූ දත්ත නැවත ලබා ගැනීම ප්‍රබල ගැටළුක් බවට පත්වුනා. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ප්‍රතිසාධනය (recover) කර ගත්තත් සාර්ථක දත්ත රක්ෂිතයක අවශ්‍යතාවය දැනුනේ එදා.
පරිඝණකයේ දෝෂ, මෙහෙයුම් පද්ධතියේ  දෝෂ සහ අනිෂ්ට මෘදුකාංග (malware) වැනි විවිධ හේතු නිසා එසේ අප ගබඩා කර ඇති වැදගත් තොරතුරුවලට හානි සිදුවිය හැක. දත්ත රක්ෂිතය සඳහා සංයුක්ත තැටි, ඩිජිටල් විඩියෝ තැටි, USB ෆ්ලෑෂ් ධාවකයන්, බාහිර දෘඩ තැටි වැනි විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම ක්‍රමයක් සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ. ‍විවිධ හේතු නිසා මෙම මාධ්‍ය වල ද දෝෂ ඇතිවෙන්න ඉඩ තිබෙනවා.
ඉතින් මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමා සබැඳි රක්ෂිතයක(online backup) පිහිට ලබා ගැනීම. අපට නොමිලේ ලැබෙන් එවන් සේවාවක් තමා ඩ්‍රොප්බොක්ස්(Dropbox). ඩ්‍රොප්බොක්ස් වෙතින් අපගේ දත්ත ගබඩා කිරීමට ගිගාබයිට් දෙකක අවකාශයක් නොමිලේ ලැබෙනවා.


ඩ්‍රොප්බොක්ස්හි ක්‍රියාකාරීත්වය සරලයි, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු My Dropbox නම් ෆෝල්ඩරයක් ඔබේ පරිඝණකයේ ස්ථාපනය වනවා. ඔබ කළ යුත්තේ ඔබට රක්ෂිත කිරීමට අවැසි ගොනු (files) මෙම ෆෝල්ඩරයට පිටපත් (copy) කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග ස්වයං-සමමුහුර්ත (Auto Synchronization) වීමකට ලක් වෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා. ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි.
තවද ඔබේ මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර මෙගා බයිට් 250ක අවකාශයක් වෙන් වෙනවා (මෙසේ ගිගාබයිට් 3ක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්).
ඩ්‍රොප්බොක්ස් මගින් අපේ දත්ත ගබඩා කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත වුවත් එය අපගේ වැදගත් තොරතුරු රැක ගැනීමට සාර්ථක පිළියමක්යැයි මා සිතනවා. තවද ඔබට අවැසි නම් මුදල් ගෙවා ලැබෙන ඉඩ ප්‍රමාණය ගිගාබයිට් 50ක් හෝ 100ක් දක්වා වැඩි කර ගත හැකියි.
ඩ්‍රොප්බොක්ස් අඩවියට ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිතා කරන්න
 

0 comments:

Post a Comment