Thursday, April 19, 2012

කළුතර විද්‍යාලීය ඉතිහාසය හා වර්තමානය

1940 ඔක්තෝබර් මස 29 වැනිදා කළුතර බෞද්ධ සමිතියේ සභාපති ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා “කළුතර නාගොඩ යෝජිත නව බෞද්ධ විද්‍යාලය” යන ශීර්ෂයෙන් යුතුව කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත නව බෞද්ධ පාසලක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට ලිපියක් යවන ලදී.එයට පිලිතුරු ලෙස කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂක පාසල ආරම්භ කිරීමට අනුමැතිය ලබා දුන්නද පවතින යුධ තත්වය හේතුවෙන් රජයේ ආධාර ලබන පෞද්ගලික පාසලක් ලියාපදිංචි කල නොහැකි බව සදහන් කරන ලදී.නමුත් 1941 පෙර පාසල ආරම්භ කලයුතු බවට කරන ලද ඉල්ලීමට ප්‍රථිඵල ලෙස කළුතර පාසල් පරීක්ෂක මේ පිලිබදව වාර්ථාවක් ඉදිරිපත් කල අතර ඒ අනුව පාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදන ලදී.

ඒ අනුව 1941 ජනවාරි මස 06 වැනිදා “කළුතර විද්‍යාලය” කළුතර නමින් විද්‍යාලයේ විස්තර සහිත නිර්දේශ පත්‍රයක් නිකුත් කල අතර එදිනම පලමුවෙන්ම ලමුන් ඇතුලත් කර ගන්නා ලදී.1941 ජනවාරි මස 13 වනදා නාගොඩ මාටිං බංගලාවේදී සිසුන් 56 හා ගුරුවරුන් 11 දෙනෙකුගෙන් යුක්තව කළුතර විද්‍යාලය ආරම්භ කරන ලදී.විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා ලෙස ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතාගේ ආරාධනයෙන් මොරටුව විද්‍යාලයේ විදුහල්පති D.D.P සමරවීර මහතා 1941 ජනවාරි 24 වැනිදා වැඩ භාරගන්නා ලදී.

කළුතර විද්‍යාලයේ මුල්ම ආදර්ශ පාඨය වූයේ ‘උත්සහවන්ත ජනානං කිං නසාදියන්ති’ යන්නයි.උත්සහවන්ත ජනයන්ගේ කුමක් නම් සිදු නොවෙත්ද? එහි සිංහල තේරුම විය.පසුව එය ‘දෑ සමය සුරකිනු’ ලෙස සිංහල ආදර්ශ පාඨයකට වෙනස් විය.විද්‍යාලයේ මුල්ම සංගීත ගුරුවරයා වූ අනංගලාල් අතුකෝරාල මහතා කළුතර විද්‍යාලයේ පාසල් ගීතය රචනා කරන ලදී.මෙලෙස බලාපොරොත්තු වූ ප්‍රගතිය ලබාගත් කළුතර විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලක් ලෙස අනුමත කල බව අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා බෞද්ධ සමිතියේ සභාපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාට 1941 ජූනි 05 වනදා ලිඛිතව දන්වන ලදී.

ඉන්පසු බාලක-බාලිකා ලෙස පාසල් දෙකක් බිහිකර ගැනීමට බෞද්ධ සමිතියට වුවමනා විය.එමනිසා 1941 ඔක්තෝබර් මස 21 වනදා බෞද්ධ බාලිකා විද්‍යාලයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත ලිපියක් යවන ලදී.පසුව ඒ සදහා අනුමැතිය ලබාදුන් පසු 1942 ජනවාරි මස 07 වනදා ක්ලැමලි හවුස් හෙවත් අල්විස් වලව්වේදී කළුතර බාලිකා විද්‍යාලය ආරම්භ කල අතර කළුතර විද්‍යාලය ප්‍රථම වරට බාලක පාසලක් බවට පත්විය.

1939 සිට 1945 දක්වා පැවති දෙවන ලෝක යුද්ධය නිසාත්, ලංකාව එකල පැවතියේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස නිසාත්,ලංකාවට යුධ තර්ජන තදින්ම බලපෑවේය.ජපන් සතුරාගේ ආක්‍රමනයට රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක වී තිබුනු නිසා වෙනත් රහසිගත ස්ථානයක ගුවන් කදවුරක් ඉදිකිරීමට බ්‍රිතාන්‍ය රජයට වුවමනා විය.මේ සදහා නාගොඩ මාටිං බංගලාවත්,එම භූමියත් සුදුසු යැයි තීරණය කල බ්‍රිතාන්‍ය රජය මාටිං බංගලාව යුධ හමුදාව නැවැත්වීමටත්,ගගන යාත්‍රාංගනය සදහා එම භූම්යත් වහාම රජයට පවරා ගැනීමට නියෝග නිකුත් කල අතර 1942 මාර්තු 18 වැනිදා පැය 24 ඇතුලත භූමියෙන් සියළු බඩු බාහිරාදිය රැගෙන ඉවත්වන ලෙසට දැනුම් දී තිබේ.වහාම ක්‍රියාත්මක වූ විදුහල්පති D.D.P සමරවීර මහතා එදින පාසලට නිවාඩු ලබාදී සියළු චංචල දේපල අල්විස් වලව්ව වෙත ගෙන ආ අතර කළුතර විද්‍යාලය විවෘත කිරීම පිලිබද සාකච්ඡා පවත්වන ලදී.

අවසානයේ කළුතර විද්‍යාලය,කළුතර බාලිකා විද්‍යාලය පිහිටා තිබූ අල්විස් වලව්වට ගෙන ඒමට තීරණය කල අතර ඒ සදහා තාවකාලික ගොඩනැගිලි කීපයක් ඉදි කරන ලදී.පසුව 1942 අප්‍රේල් මස 27 වැනිදා කළුතර විද්‍යාලය,කළුතර බාලිකා විද්‍යාලය පිහිටා තිබූ භූමියේම ආරම්භ කල අතර කළුතර විද්‍යාලය නැවතත් මිශ්‍ර පාසලක් බවට පත්විය.

නමුත් එලෙස එකම ස්ථානයේ පාසල් දෙකම පවත්වාගෙන යාම පාසල් සංවර්ධනට බාධාවක් බව තේරුම් ගත් බෞද්ධ සමිතියේ සභාපති සිරිල් ද සොයිසා මහතාගේ පෞද්ගලික නිවස වන බෲක්ලීන් නිවසට කළුතර බාලිකා විද්‍යාලය 1942 මැයි 25 වනදා ගෙනගිය අතර කළුතර විද්‍යාලය නැවතත් පිරිමි පාසලක් බවට පත්වි‍ය.කළුතර බාලිකා විද්‍යාලය පරණ පාරේ වර්ථමාන ස්ථානයේ ස්ථාපිත වූ අතර කළුතර විද්‍යාලය වර්ථමාන භූමියේ ස්ථාපිත විය. ඉන්පසු 1946 අප්‍රේල් මස 15 වැනිදා බදු අංක A/311/136/259/52 යටතේ කළුතර විද්‍යාලය රජයේ පාසලක් ලෙසට පවරා ගනිමින් නිදහස් අධ්‍යාපනට එක්වූ අතර 1998 පෙබරවාරි මස 13 වනදා කළුතර විද්‍යාලය ජාතික පාසලක් බවට පත්විය.

වර්ථමානය වනවිට කළුතර විද්‍යාලය ලංකාවේ ප්‍රමුඛපෙලේ පාසලක් බවට පත්වී තිබේ.වෛද්‍ය,ඉංජිනේරු, දේශපාලන,කලා,ක්‍රීඩා වැනි අංශ සදහා කළුතර විද්‍යාලීය පුතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර තිබේ.ඒ අතරින් TM ඩිල්ෂාන්,මාලිංග බණ්ඩාර,දුලිප් ලියනගේ,පණ්ඩිත් අමරදේව,නාරද දිසාසේකර,චාමික සිරිමාන්න,දයා අල්විස්,වෛද්‍ය හෙක්ටර් වීරසිංහ,චන්න සුදත් ජයසුමන,ස්ටැන්ලි තිලකරත්න,සෝමවංශ අමරසිංහ,නිශ්ශංක විජේසිංහ ප්‍රධාන තැනක් ගනී.කළුතර විද්‍යාලයේ වර්ථමාන ශිෂ්‍ය සංඛ්‍යාව 2200 වන අතර ආචාර්ය මණ්ඩලය 100 යුක්තය.වර්ථමාන විදුහල්පති K.රත්නවීර පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ කළුතර විද්‍යාලය ඉදිරියට යමින් සිටියි.

0 comments:

Post a Comment